එට්‌කා ගිවිසුම වැනි ආර්ථික ගිවිසුම් ඇතුළු කඩිනම් ප්‍රතිපත්ති හා පහසුකම් සැලසීම සඳහා ඇමැතිවරයකුට හා ආයනයකට අසීමිත බලතල ලබාදීමට ආණ්‌ඩුව පනත් කෙටුම්පතක්‌ ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ඉකුත් 25 වැනිදා  ප්‍රකාශයට පත් කර ඇති මෙමපනත අතර සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත ලෙස මෙය හඳුන්වා දී ඇතැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ (05 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අසීමිත සහ අත්ත්නෝමතික  බලතල ලබාදෙන මෙම ඇමැතිවරයාට හා ආයතනයට ජනාධිපතිට හෝ නැති ආකාරයට කැබිනට්‌ මණ්‌ඩලයේ සාමුහිකව ඇති බලතල රාජ්‍ය දෙපාර්තමේන්තු සතු බලතල නිලධාරීන්ගේ බලතල අයෝජන මණ්‌ඩලය වැනි ආයතනවල බලතල පමණක්‌ නොව පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයත් බලතලද පනත මගින් එක්‌රැස්‌ කර ඇතැයි හෙතෙම කීය.

එමෙන්ම යම් යම් කාර්යයන් සම්බන්ධයෙන් අධිකරණයේදී අභියෝග කිරීමට හැකියාවද මෙම පනතේ සීමා කර ඇති බව කී ආනන්ද මහතා මෙම තනතුර වසර තුනකින් ඉබේම අහෝසි වන බවද කියා සිටියේය.

අගමැතිවරයාගේ නියමය මත ඉදිරිපත් කර ඇති මෙම පනත මගින් එට්‌කා වැනි රටට අහිතකර ගිවිසුම් හෝ තීන්දු තීරණ ගැනීමේ අවදානමක්‌ ඇතැයිද කී වෛද්‍යවරයා වහාම මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාට ලිතව දැනුම් දුන් බව පැවසීය.

ඉතාම සූක්ෂම ලෙස ජනතාවගේ ඇස් වසා නීති සහ රෙගුලාසි වලින් ද පිට පැන එක්ටා ජනතාව වෙත පැටවීමේ අවදානමක් ඇති හෙයින් ජනතාව මීට වඩා අවදියෙන් සිටිය යුතු බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY